දකුණේ සිංහල රාජ්‍ය සේවකයන් ලක්ෂ 2කට දෙමළ කතා කිරීමට-ලිවීමට හැකියාව
විජයානි එදිරිසිංහ
යුද්ධය අවසන් වී මෙරට සාමය ඇති වී ගතවූ පසුගිය වසර තුළ සිංහල භාෂාව වචනයක්වත් කතා කිරීමට හෝ ලිවීමට නොහැකිව සිටි උතුරු නැඟෙනහිර රාජ්‍ය ආයතනවල රාජ්‍ය සේවකයන් ලක්ෂ දෙකකට ආසන්න සංඛ්‍යාවක් සිංහල භාෂාව කතා කිරීමේ හා ලිවීමේ සම්පූර්ණ හැකියාව ලබා ඇති අතර දෙමළ භාෂාව කතා කිරීමට හෝ ලිවීමට නොහැකි සිංහල රාජ්‍ය සේවකයන්ද ලක්ෂ දෙකකට ආසන්න සංඛ්‍යාවක් දෙමළ කතා කිරීමට හා ලිවීමට හැකියාව ලබා තිබේ.
උතුර දකුණ සහෝදරත්වය යළි ගොඩනඟා ඒ තුළින් රාජ්‍ය සේවය ශක්තිමත් කොට කාර්යක්ෂම කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මහින්ද චින්තන වැඩපිළිවෙළ තුළින් භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබුණි.
ඒ අනුව රාජ්‍ය භාෂා සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා වෙත එම කර්තව්‍ය පවරා ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනය මඟින් එම වැඩපිළිවෙළ දියත් කෙරුණි.
එහි ප්‍රතිඵලයක් වශයෙන් වසර 30කට පසු රාජ්‍ය සේවකයන් මෙතරම් විශාල පිරිසක් කෙටි කාලයක් තුළ දෙමළ සහ සිංහල භාෂාව පුහුණුව ලබාගත් ප්‍රථම අවස්ථාව මෙය වෙයි. 2007 අංක 26 දරන පාර්ලිමේන්තු පනතින් ආරම්භ වූ ජාතික භාෂා පුහුණු ආයතනය මෙම දැවැන්ත කර්තව්‍යය ඉටු කරයි.
රාජ්‍ය සේවකයන්ට සිංහල සහ දෙමළ භාෂා පුහුණුව ලබාදීම සඳහා රජය භාණ්ඩාගාරය හරහා විශාල මුදලක් වැය කරයි. ජාතික භාෂා අධ්‍යයන සහ පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාත් ආර්. හේරත් මහතා ත්‍රෛ භාෂාවෙන්ම රාජ්‍ය සේවකයන්ට පුහුණුව ලබාදී ඔවුන් එම ආයතනයට සම්බන්ධ කරගෙන ඔවුන් හරහා රජයේ සියලුම ආයතනවල සේවකයන්ට සිංහල දෙමළ පුහුණුව ලබා දෙයි.
ඒ අනුව මේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් රාජ්‍ය සේවකයන් දහසකට පමණ පුහුණුව ලබාදී මේ භාෂා පුහුණු ආයතනයට අනුයුක්ත කර ගනිමින් උතුරු නැගෙනහිර ඇතුළු සෙසු ප්‍රදේශවලට ඔවුන් යවා දින 10 බැගින් වූ පුහුණුව ලබාදෙයි. මේ වන විට එම පුහුණු වැඩමුළු සියය ඉක්මවා යන ප්‍රමාණයක් පවත්වා තිබේ.
දෙමළ මවු භාෂාව කරගත් පාර්ලිමේන්තු මැති ඇමැතිවරු සහ ප්‍රාදේශීය ලේකම්වරු, වෛද්‍යවරු, ඉංජිනේරුවන්, විදුහල්පතිවරු, ආධුනික පරිපාලන සේවා නිලධාරීන්, පාසල් ගුරුවරු, ග්‍රාම සේවක, සමෘද්ධි නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සිංහල භාෂාව හැදෑරූ දෙමළ අය අතර වෙති.
ජගත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන්පිල්ලේ මහත්මිය පසුගියදා මෙරටට පැමිණ උතුරු නැඟෙනහිර සංචාරය කළ අවස්ථාවේ දෙමළ ජාතිකයන්ට සිංහල භාෂාව ඉගැන්වීමේ වැඩසටහන අගය කර ප්‍රශංසා කර තිබේ. උතුරු නැඟෙනහිර දෙමළ ජාතික රාජ්‍ය සේවකයන් සිංහල භාෂාව ඉගෙන ගැනීමට දැඩි උනන්දුවක් දක්වන බව අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රභාත් ආර්. හේරත් මහතා පවසයි.
http://dinamina.lk/2014/03/12/_art.asp?fn=n1403127
Posted on Wednesday, March 12th, 2014 at 4:23 am